ලේක්හවුස් මහරගම දැන්වීම් මධ්‍යස්ථානය සුබ මොහොතින් විවෘත වෙයි

ලේක්හවුස් මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, ලේක්හවුස් අධ්‍යක්ෂ මෙහෙයුම් නීතිඥ මංජුල මාකුඹුර, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (දැන්වීම්) චින්තක යාපා, වැ:බ: නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඩී.එම්. ධනසේන, සන්ඩේ ඔබ්සර්වර් කර්තෘ ප්‍රමෝද් ද සිල්වා, සිළුමිණ වැඩ බලන කර්තෘ ශිරෝමි අබේසිංහ, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අලෙවි) අමිල පීරිස්, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ආයතනික සම්පත්) අනුර ගොඩකන්ද, දැන්වීම් කළමනාකරු (ප්‍රාදේශීය ව්‍යාපාර ප්‍රවර්ධන) එරන්ද එදිරිමාන්න, සන්නාම ප්‍රවර්ධන කළමනාකරු දර්ශා චන්ද්‍රස

 

සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී අලුත් විදිහට සිතන දැන්වීම් මධ්‍යස්ථානයක් - ලේක්හවුස් මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න


පුවත්පත්වලට දැන්වීම් එකතු කරන සාම්ප්‍රදායික දැන්වීම් මධ්‍යස්ථානයක් නොවී රාමුවෙන් පිට සිතා කටයුතු කරන දැන්වීම් මධ්‍යස්ථානයක් ලෙස ලේක්හවුස් මහරගම දැන්වීම් මධ්‍යස්ථානය කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ලේක්හවුස් ආයතනයේ මහරගම දැන්වීම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (21) එක්වෙමිනි.

මේ උත්සවය මහා සංඝරත්නයේ ද ආශිර්වාද මැද ඉතා චාම් උත්සවයක් ලෙස සංවිධාන කර තිබූ අතර දැන්වීම් මධ්‍යස්ථානය විවෘත කිරීම ලේක්හවුස් මූල්‍ය අධ්‍යක්ෂ සුනිල් ජයන්ත නවරත්න මහතා විසින් සිදු කරන ලදී. අනතුරුව මධ්‍යස්ථානයට දැන්වීම් ලබා ගැනීමේ ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කළ අතර පළමු දැන්වීම මහරගම ශ්‍රී සහනය මනෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මනෝ විද්‍යා උපදේශක දේශමාන්‍ය ඉන්දික ජයසිංහ මහතා විසින් මහරගම දැන්වීම් මධ්‍යස්ථානයේ කළමනාකරු මෙවන් චාමර මහතා වෙත භාර දෙන ලදී.

මෙහිදී වැඩිදුරටත් ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා මෙසේද පැවසීය.

“ලේක්හවුස් ආයතනයට යමක් කරන්න හොඳ අවස්ථාවක් විදිහට මේ අවස්ථාව සලකන්න පුළුවන්. අපි ලොකු අභියෝගයකට මුහුණ දෙනවා. පුවත්පත් මුද්‍රණය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට අමතරව අපගේ සියලුම පුවත්පත් මේ වෙනකොට ඊ-පුවත්පත් ලෙසත් නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. එම ඊ-පුවත්පත් ඇතුළු අපගේ ඩිජිටල් මාධ්‍ය අවකාශ වෙතත් දැන්වීම් ලබා ගැනීමට මේ ස්ථානය හොඳ අවස්ථාවක් වෙයි. පුවත්පත් මිලදී ගැනීමට සහ වෙනත් තොරතුරු දැන ගැනීමටත් මේ ස්ථානය උපකාර කරගන්න පුළුවන්. අලුත් විදිහට හිතලා අලුත් විදිහට අපි සියලු දෙනාම එකතු වුණොත් ආයතනයටත් රටටත් ඵලදායී ලොකු දෙයක් කරන්න පුළුවන්. මහරගම කියන්නේ විශාල ව්‍යාපාර සංඛ්‍යාවක් වගේම විශාල පිරිසකුත් ගැවසෙන ප්‍රධාන නගරයක්.

නුගේගොඩ, දෙහිවල, කොට්ටාව, තලවතුගොඩ නගරවලට මැදිව පිහිටා තිබීම ව්‍යාපාර කටයුතුවලට ලොකු අවස්ථාවක්. පරණ රාමුවෙන් මිදිලා අලුතින් ගොඩක් දේවල් එකතු කරන්න පුළුවන්. මේ මධ්‍යස්ථානය ගතානුගතිකව පුවත්පතට දැන්වීම් එකතු කරන මධ්‍යස්ථානයක් නොවී අලුත් විදිහේ මධ්‍යස්ථානයක් වෙයි කියා විශ්වාස කරනවා. දැන් ලෝකය වෙනස් වෙනවා. ගොඩක් අය උදේ ඉඳන් හවස් වෙනතුරු ජංගම දුරකතනය භාවිත කරනවා. ඒ දේ අපට ප්‍රයෝජනයට අරගෙන ආදායම් වැඩි කරගන්න පුළුවන්. අලුතින් හිතුවොත් අපට මේ දේ කරන්න පුළුවන්. ලංකාවේ තිබෙන හොඳම දැන්වීම් මධ්‍යස්ථානය බවට පත් වෙයි කියා විශ්වාසයක් තිබෙනවා යැයිද පැවසීය.”

මෙහිදී ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ මංජුල මාකුඹුර මහතා

“මම හැමදාම කියන දෙයක් තමයි කණ්ඩායමක් හැටියට එකතු වුණොත් අපට අනිවාර්යයෙන්ම හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා. මේ නව දැන්වීම් මධ්‍යස්ථානයෙන් ප්‍රයෝජන ගන්න නම් අලුතින් හිතන්න ඕනෑ. රාමුවෙන් පිට හිතන්න ඕනෑ. පරණ ක්‍රමයෙන් ඉවත් වෙලා අලුතින් හිතන්න කියන සංකල්පයට මේ ස්ථානයත් යොමු කර ගැනීම ඉතාම වැදගත්.”

දැන්වීම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (දැන්වීම්) චින්තක යාපා, වැ:බ: නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඩී.එම්. ධනසේන, සන්ඩේ ඔබ්සර්වර් කර්තෘ ප්‍රමෝද් ද සිල්වා, සිළුමිණ වැඩ බලන කර්තෘ ශිරෝමි අබේසිංහ, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අලෙවි) අමිල පීරිස්, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ආයතනික සම්පත්) අනුර ගොඩකන්ද, දැන්වීම් කළමනාකරු (ප්‍රාදේශීය ව්‍යාපාර ප්‍රවර්ධන) එරන්ද එදිරිමාන්න, සන්නාම ප්‍රවර්ධන කළමනාකරු දර්ශා චන්ද්‍රසිරි, දැන්වීම් කළමනාකාරිනියන් වන දමයන්ති විජේසූරිය හා ටිකිරි රඹුක්වැල්ල, ක්ෂේත්‍ර මෙහෙයුම් කළමනාකරු ශාන්ත පුෂ්පකුමාර, මහරගම ශ්‍රී සහනය මනෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මනෝවිද්‍යා උපදේශක දේශමාන්‍ය ඉන්දික ජයසිංහ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.